Saturday, July 9, 2011

මානස විල මාවත......

 

රන් පැහැ ගත් මේ සැන්දෑ වළාකුළු අහසට බර වැඩි යයි මට සිතේ. හඩන්නට ළං වු ඔබේ පුංචි මුහුණත් මේ රන්වල් අහසත් මට ගෙන එන්නේ එකම හැගිමකි.

ඇදි මැකි බොදවි යන වළාකුළු ගලපා ඒ අතීතයේ ඔබේ වටකුරු මුහුණ මවා ගන්නට මම උත්සාහ දරමි. පෙරදින සැදැවක මේ වෙරළ තීරයේ තනිවී මේ වළාකුළු ගලපමින්  අනන්ත රූප රේඛා අදිමින් අප ගත කළ හෝරා කිහිපය කොතරම් සදාදරණිය වේද......

අප දැන් මේ වසන්ත සැන්දෑවට අයිති නැත. අලුත් ආදරවන්තයෝ මේ හැන්දෑ අහස යට ඔවුනොවුන් තුරුළුව මුමුණති. මගේ යැයි කියා මට මතක් කළ හැකි එකම සැදෑව ඔබ මගෙන් වෙන්ව ගිය ඒ වේදනාබර රත් පැහැගත් සිකුරාදා හැන්දෑවයි.

ඒ අවසන් සැන්දෑවේදී ඔබේ තෙල් පට වෙව්ලමින් තිබුණි. පපුව වේගයෙන් ගැහෙමින් තිබුණි. ඒ පව්කාර සිකුරාදා හැන්දෑව වනතෙක් ඔබ මට එතරම් ආදරය කළ බවක් මම නොදැන සිටියෙමි.

“පහන්..... මේ ආදරේ මේ වගේ කටුක දරාගන්න බැරි හැන්දෑවකින් කෙළවර වෙනවා කියලා මම දැනගෙන උන්නා... ඒත්... ඒත්.... ඒක මේ තරම් ඉක්මණට උදාවෙයි කියලා මං දැනන් උන්නේ නැහැ පහන්....”

“දැන දැනත් මං වගේ කාලකණ්ණියෙකුට ආදරේ කරලා නැති නාස්ති උනේ ඇයි සදු....”

“ඒක තමයි පහන් මටත් තෙරුම් ගන්න බැරි එකම දේ..... ඔයා දන්නවද....”

“මොකක්ද...”

“මේ ආදරේට තේරුමක් නැහැ සදු...”

“ආදරේ කියන්නේ එහෙමයි පහන්... ගොඩක් දෙනකොට අපිට ලැබෙන්නේ පොඩ්ඩයි..... ඔයා දන්නවා... මං මයේ ජිවිතයම ඔයාට දිලා මං ප්‍රාර්ථනා කළේ කොච්චර පුංචි දෙයක්ද.....”

දවස් කිහිපයක් වුවත් පෙම් පුරාවත පුරාවටම මා රැකි ඒ රහස ඔබට මේ සැදැවේ දී නොකියා සිටින්නට මට නොහැක....

“ඔයා මගේ ආදරයෙන් බලාපොරොත්තු වෙන්නෙ සදහටම ඔයා ළගටම වෙලා මං ඉන්න එක නම්.... ඇත්ත සදු... එක මට කවදාවත් කරන්න බැහැ....”

“ආදරය මිනිසුන්ගේ හිත් වෙනස් කරනවා කියලා අහලා තියෙනවා... ඒත් ඒක ඔයාට බොරු.... අපි ආදරය කරපු දවස් කිහිපයත් නවකතාවක අමතක වෙච්ච පිටු කිහිපයක් වගෙයි...”

“ඔයාට විතරක් නෙමෙයි සදු මටවත් මාව උරුම නැහැ.... විශ්වාස කරන්න... සදු... මං කියනදේ අහන්න මං පිළිකා රෝගියෙක්......”

එදා ඔයා මගේ උර හිසට වේගයෙන් හිස හප්පා ගතිමි. මට රිදුනේ නැත. එක් ඔබට රිදුනු බව මම දනිමි.

“දෙ...යි..ය..නේ.... ප...හ..න්”

“ඔයාට ආදරේ එක ගැන මම විදවනවා කිව්වේ ඒකයි සදු.... මේ ආදරයට අනාගතයක් නැහැ කියලා ඔයා දැන් දන්නවා නේද... මේ කරපු සේරම කෙනහිලිකම් ඒ නිසයි සදු..... වැදළා කියන්නම් කෙල්ලේ මට ආදරේ කරන්න එපා....”

ඒ අවසන් සැදැවේ ඔබ මට නොව මම ඔබට සමුදුන්නෙමි. අපිට අපි උරුම නැති කල අපේ හදවත් වලට අපි බොරු කරන්නේ කුමටද.... එහෙත් මගේ මරණය මා කරා එනතුරු මම ඔබට ආදරය කරමි. මේ සිනිදු වෙරළ තිරයේ සටහන්ව මැකි ගිය ඔබේ දෙපා වල උණුසුමට ඉව කරමි.

මේ සැන්දෑව තුළ ඔබෙත් මගෙත් දෑගිලි යළිත් එක් නෙවෙනු ඇත. සිල්බර කොටන් දිගේ හෙමින් හෙමින් අඩි තියමින් බිම බලමින් හුරතල් වෙමින් ඔබ මා හා ආ ගමන කොතරම් වේදනාවක්ද... එදා අපි දෙදෙනාම එක්ව ගිය මානස විල මගෙහි අද යන්නේ මා පමණි. 

“මේ පාරේ මම අනන්තවත් තනියම ගියා... ඒත් මට පාළුවක් දැනුනේ නැහැ..... ඒත් දැන් මේ පාරේ චුට්ටක්වත් ඔයා නැතිව මට යන්න බැහැ හරිම පාළුයි... ඇයි ඒ”

එදා ඔබ කීවාය. ඇයි ඒ..... අද මම මගෙන් අසමි... මානස විල මග සදාදරණිය වුයේ ඔබටත් මටත් පමණි. මේ මාවත් සියල්ල මතකයෙන් වෙන්ව යනු ඇත. එහෙත් ඔබ සදහටම මගේ හදවත් මාවතේ මල් දෙවැටක්ම වනු ඇත.


4 comments:

  1. ම්ම්ම්........"මේ මාවත් සියල්ල මතකයෙන් වෙන්ව යනු ඇත. එහෙත් ඔබ සදහටම මගේ හදවත් මාවතේ මල් දෙවැටක්ම වනු ඇත."
    ලස්සනයි.......දුක හිතුනා.....ආදරේ දුකින් කෙළවර වෙන හැටි දකින්න,බලන්න,මම ආසම නෑ.....ඒත් වැඩිපුරම මට දකින්න,අහන්න,බලන්න,වෙන්නෙ එහෙමමයි......

    ReplyDelete
  2. ස්තුතියි හිතුවක්කාරි....

    ReplyDelete
  3. ම්...දුකයි
    ආදරේ දෙන්නේ දුක ව්තරමද?

    ReplyDelete
  4. අනේ මන්දා....
    මම දන්නේ නෑ

    ReplyDelete

Twitter Bird Gadget